Popular Posts

Thursday, November 22, 2012

යාපනයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට
රජය ඕනෑම මුදල් ප්‍රමාණයක්‌ වැය කිරීමට සූදානම්

නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම


යාපනය දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා රජය මුදලින් රුපියල් කෝටි, ප්‍රකෝටි ගණනක්‌ වැය කිරීමට සූදානම් යෑයි විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනතේ නියමයන් ඉදිරිපත් කරමින් මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේa (18 වැනිදා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, ලිපි ලේඛන සහ වාර්තා ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනතේ නියමයන් ඉදිරිපත් කරමින් මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ කීය.

2008/2009 ලොව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. තෙල් මිල වගේම පරිභෝජන භාණ්‌ඩ මිල ඉහළ ගියා. රජයට සහන පැකේජයක්‌ ඉදිරිපත් කරන්න සිදු වුණා. දේශීය නිෂ්පාදන වැඩි කිරීමට ප්‍රතිලාභ පහසුකම් ලබාදුන්නා. මිල දරාගත හැකි වන පරිදි පාරිභෝගිකයා වෙනුවෙන් විශාල ලෙස බදු අඩු කළා. එහිදී සංයුක්‌ත බදු ක්‍රමය උපාය මාර්ගයක්‌ කර ගත්තා. අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට තිබුණේ වෙන් වෙන් බදු. මේ සහන පැකේජය තුළ සංයුක්‌ත බද්ද අඩු කළ නිසා අපට හැකි වුණා පාරිභෝගිකයාට සහන සලසන්න. ඉන් රජයේ ආදායම අඩු වුණා. ආර්ථික අර්බුදය හමුවේ අප ගෙන ආ සංයුක්‌ත බදු ක්‍රමය පාර්ලිමේන්තුවේදී අනුමත කරගත යුතුයි. දේශගුණික විපර්යාසය නිසා එක කලෙක හාල් හිඟයක්‌ ඇතිවුණා. අපි පිටරටින් හාල් ගෙන ආවේ මේ සංයුක්‌ත බදු ක්‍රමය යටතේ බදු අඩුකරමින්. අද උතුර නැගෙනහිර වී නිෂ්පාදනය වැඩි වෙලා. උඩරට බැඳපු වේලිවල ජලය යවන්නේ උතුරට, නැගෙනහිරට. රටේ පාරිභෝගිකයා රැක ගන්නවා වගේම නිෂ්පාදකයාත් රැකගත යුතුයි.

අද අප රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙලා. අපි හදන්නේ මිල වැඩි වුණත් ඒ ප්‍රතිලාභය දේශීය ගොවියාට ලබා දීමටයි. අනුර කුමාර දිසානායක මහතා දේශීය කිරි ගොවියා හදන්න කොතරම් මහන්සි වුණාද.

අනුර කුමාර දිසානායක මහතා

2005 දී 89% ක්‌ කිරිපිටි රටට ගෙනාවා. 2008 දී 90% ක්‌ ගෙනාවා. බද්ද ගැහුවට වැඩක්‌ නෑ. ඒ හා සමානවම කිරි නිපදවීමට වැඩ සටහනක්‌ තිබිය යුතුයි. ඒ වැඩසටහන් කඩාවැටිලා.

අමුණුගම මහතා

අපි ඒ තත්ත්වය වැඩි කළ යුතුයි. හැමදාම පිටරට කිරි පිටි ගෙන එන්න බැහැ. යාපනයේ කෘෂිකර්මාන්තයට සුදුසු ජලය නැහැ. ඒත් යාපනයේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්න රජය ලෑස්‌තියි.

මේ බදු කියන දේවල් අපගේ දේශීය නිෂ්පාදන අනුව වෙනස්‌ කළ යුතුයි. හැමදාම එකම තත්ත්වයේ පැවතිය යුතු නැහැ. බදු ක්‍රමයේ සාර්ථකත්වය පසුගිය මැතිවරණ දිහා බැලුවහම කියන්න පුළුවන්. මිල ස්‌ථාවරව සහ රටේ සංවර්ධනය එක ලෙස ගෙන යායුතුයි.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

මේ බදු ගෙනත් තිබෙන්නේ දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට නොවෙයි. ලෝකයේ හැම භාණ්‌ඩයකම මිල අඩුවුණා. ඇයි එහෙම වුණේ. රජයට විදේශ ණය ගෙවිය යුතුව තිබූ නිසා තමයි මේ විදිහට බදු වැඩි කරන්න වුණේ.

මේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ ජීවන මිල වැඩිකරන එකයි. ජනතාවගේ නිදහස නැති කිරීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දය ඉල්ලුවා කියලා දැන් යුද්ධාධිකරණයක දාගෙන ගන්නවා. එය සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර අයිතිය උල්ලංඝනය කිරීමක්‌.

යුද්ධය අවසන් කර වසරක්‌ ගතවෙන මොහොතේදී විශාල වශයෙන් මුදල් වියදම් කරල උත්සවයක්‌ පවත්වනවා. ඒත් ඊට නායකත්වය දුන් සරත් ෆොන්සේකා හිර කූඩුවක ඉන්නේ. එංගලන්තයෙන් මුදල් දී තිබෙනවා රජයට වන්නියේ ජනතාව යළි පදිංචි කරන්න කියා. ඒත් ඒ ජනතාව තවමත් ඉන්නේ කුකුල් කූඩුවල.

කොළඹ ජනතාවගේ නිවාස දැන් කඩනවා. ඇයි එහෙම කරන්නේ. ඒ නිවාස කඩලා සුඛෝපභෝගී නිවාස හදන්නයි. ඒවා කෝටි හතර පහකට විකුණන්නත් හදනවා. මේ ගැන ඒ විෂයභාර විමල් වීරවංශවත් දන්නේ නෑ. නාගරික සංවර්ධනය භාර වෙන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයටයි. ඒත් ඒ ආයතනය ආරක්‍ෂක අමාත්‍යංශයට අරගෙන. මේ මහ වැස්‌ස නිසා කොළඹ, ගම්පහ, කළුතර ජනතාව අසරණ වෙලා. කෝ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ආවාද?

සමාජ සේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා

මේ බදු ක්‍රමය ඇතිකරේ පසුගිය පෙබරවාරි මාසයේදී මහාමැතිවරණයට කලිනුයි. ජාත්‍යන්තරව පිළිගත් එච්. එස්‌. කෝඩ් එකට අනුවයි මේ බදු ක්‍රමය සකස්‌කර තිබෙන්නේ. අද එහි වෙනස්‌කම් ටිකක්‌ පමණයි මේ සිදුවන්නේ.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මූලාසනයට පැමිණේ

අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීම සඳහා බදු පැනවිය යුතුයි. සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ක්‌ෂේත්‍රයට විශාල වශයෙන් අප මුදල් වියදම් කර තිබෙනවා. ආබාධිත සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. උතුරේ අවතැන් ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසිය යුතුයි. වෙනත් රටවල විශ්‍රාම වැටුප් අහෝසිකර තිබෙනවා. ඒත් අපි තවමත් විශ්‍රාම වැටුප් ගෙවනවා.

 
Powered By -

No comments:

Post a Comment