Popular Posts

Thursday, November 22, 2012

තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත

Palmyrah Research Institute jaffna

- අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

(දෙවන සංස්කරණය) තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට අද ආරම්භ කරන තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වන බවත්, එයින් සම්පූර්ණ ප‍්‍රයෝජන ගෙන තම ජීවිත වඩා සංවර්ධනය කර ගන්නා ලෙසත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යාපනයේ කයිතඩිහි නැවත පිහිටුවන ලද තල් පර්යේෂණ ආයතනය විවෘත කරමින් ප‍්‍රකාශ කර සිටියේය.

යාපනය කයිතඩි ප‍්‍රදේශයේ තල් පර්යේෂණ ආයතනය 1966 වසරේ විවෘත කර ඇත. 1995 වසර දක්වා ක‍්‍රියාත්මකව පැවතියත් යුද්ධය හේතුකොටගෙන ආයතනය වසා දැමීමට සිදු වී ඇති අතර ගොඩනැගිලි ද විනාශ වී තිබුණි. නවීකරණය කරන ලද තල් පර්යේෂණ ආයතනය ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (20) ජනතා අයිතියට පත් කරනු ලැබීය.

යුද්ධය අවසන් වී සාමය උදාවීමත් සමග ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ කේන්ද්‍රගත ව පවතින තල් කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම තල් පර්යේෂණ ආයතනය සංවර්ධනයට රජය මගින් පියවර ගනු ලැබීය. තල් පර්යේෂණ ආයතනය නවීකරණය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ලබාගැනීමට ඉන්දියානු රජය මගින් රුපියල් මිලියන 75ක ප‍්‍රදානයක් ලබා දුන් අතර ශ‍්‍රී ලංකා රජය මගින් තල් පර්යේෂණ ආයතනය පැවති ගොඩනැගිල්ල නවීකරණය කිරීමට සහ අනෙකුත් පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 24ක මුදලක් වැය කරනු ලැබීය.

උත්සවය අමතා තවදුරටත් කතා කළ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා; “2009 යුද්ධය අවසාන වී සාමය උදාවූ මොහොතේ ම යාපනයේ පැවති දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අපි තල් ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. මට මතකයි අපි එම රැස්වීම තිබ්බේ යාපනය පුස්තකාල ශාලාවේ දී. ඒ අනුව අපි එම වර්ෂයේ ම තල් ගස් සිටුවීම ආරම්භ කළා. ඒ මොහොතේ දී අපි සාකච්ඡා කළා ලෝකයේ තිබෙන අනෙකුත් ආහාර නිෂ්පාදන සමග තල් නිෂ්පාදන ද තරග කළ හැකි තත්ත්වයෙන් තිබිය යුතුයි කියා. මේ ගැන උනන්දුවක් දැක් වූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට මේ රටේ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත භාර දෙන අවස්ථාවේ දී තල් සංවර්ධන මණ්ඩලයත් අතිගරු ජනාධිපතිතුමා විසින් පැවරුවා. ඒ අනුව එතුමා වහා ම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ තිබුණු තල් සංවර්ධන මණ්ඩල කාර්යාලය යාපනයට ගෙනවිත් තල් නිෂ්පාදන ජාලය ඒකාබද්ධ කරමින් කටයුතු කරගෙන යනවා. හැබැයි එතුමා තල් සංවර්ධනය යාපනයට සීමා කළේ නෑ. තල් වැවෙන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සහ සෑම දිස්ත‍්‍රික්කයක ම එම නිෂ්පාදන සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන යනවා.


මෙම පර්යේෂණ ආයතනය විනාශ වී තිබුණු ආයතනක් එතුමාට මෙය ආරම්භ කිරීමට අවශ්‍ය වුවත් මුදල් හා තාක්‍ෂණය සොයා ගැනීම අසීරු වුණා. ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට ගොඩනැගිලි සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ගත් අතර, තාක්‍ෂණය සඳහා ඉන්දියාවෙන් ආධාර ලබාගත්තා. කුමන අසීරුකම් ආවත් වැඩක් කිරීමට ආරම්භ කළ හොත් ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා එය කෙසේ හෝ ඉටු කරනවා. ඒ අනුව මේ සඳහා අවශ්‍ය විද්වතුන් ද සම්පූර්ණ කරගෙන මෙහි වැඩ ආරම්භ කළා. එසේම, ඉන්දියානු රජයට අපි මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආධාර කිරීම ගැන. උතුරේ සංවර්ධනය වෙනුවෙන් ට‍්‍රැක්ටර් 500, නිවාස 50,000 ක් ඇතුළු විවිධ ආධාර ඉන්දියානු රජයෙන් සපයා තිබෙනවා. ඉන්දියානු ආධාර සමග ගොඩනැගෙන උතුරු දුම්රිය මාර්ගයේ ළඟදීම යාල්දේවී දුම්රිය උතුරට ඒවි කියා අපි විශ්වාස කරනවා” යැයි ප‍්‍රකාශ කළේය.


මෙහිදී කතා කළ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා; මෙම මධ්‍යස්ථානය ගොඩනැගීම සඳහා ආධාර ලබාදුන් ඉන්දීය රජයට සිය ස්තූතිය පුදකරන බවද විශේෂයෙන් මේ අවස්ථාවේ උත්සවයට සහභාගී වන ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා ශ‍්‍රී ලංකාවට විශේෂ ආධාර සපයමින් ඉතාමත් ම දැඩි සුහදත්වයකින් යුතු ව කටයුතු කිරීමගැන එතුමාට විශේෂ ස්තූතිය පුද කරන බවද පැවසීය.


මෙහිදී කථාකල ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා ශ‍්‍රී ලංකාව සමඟ එකතු වී ඉන්දියාව විවිධ සංවර්ධන වැඩසටහන් ඉදිරියේදීත් ක‍්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.


සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා කතා කරමින්; ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහයෝගයෙන් ද මෙම තල් පර්යේෂණ ආයතනය ආරම්භ කළ බවත්, මහින්ද චින්තනයට අනුව තල් නිෂ්පාදනය ශක්තිමත් කිරීමට පසුගිය අයවැයෙන් මිලියන 14කට අධික මුදලක් වෙන්කර ඇති බව ද පෙන්වා දුන්නේය.


මෙම උත්සවයට යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිල්වෙස්ති‍්‍ර ඇලන්ටීන් (උදයන්), සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන්, උතුරු පළාත් ප‍්‍රධාන ලේකම් විජයලක්‍ෂ්මි, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති පසුපති සිවරත්නම්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති මාර්ෂල් ජනතා, නෝර්ත් සී ආයතනයේ සභාපති පරන්තාමන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජස්මින් මාන්නපෙරුම, යාපනය දිසාපති අරුමෙයිනායගම්, කිලිනොච්චි දිසාපතිනී රූපාවතී කේතීෂ්වරන්, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


උත්සවය අවසානයේදී, ඉන්දියානු අධාර යටතේ යාපනයේ කයිතඩි හි ඉදිකිරීමට බලාපොරොත්තු වන ශිල්ප ගම්මානයට ද මුල්ගල් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය. මේ සඳහා ඉන්දියානු රජයෙන් රුපියල් මිලියන 20ක ආධාර ලබා දී ඇත.

Palmyrah Research Institute jaffna 1
Palmyrah Research Institute jaffna 2
Palmyrah Research Institute jaffna 4
Palmyrah Research Institute jaffna 3

HC/med

No comments:

Post a Comment